Saturday, December 26, 2015

අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...




රත්තරන් පාට ඉර සමුදුරු පෙම්වතියගේ තුරුලේ ආලිංගන නැටුමක්...
තව ටිකකින් වලාකුළු සළු ඔවුන්ව වසාගනීවී. 
ඒ ආදරය ලොවෙන් සඟවන්න වගේ සැන්දෑ අන්ධකාරය ගලාගෙන එනවා. 
ගෝල්ෆේස් පිට්ටනිය තව මොහොතකින් අඳුරේ ගිලේවි...
මම ඇය දිහා බැලුවා... 
රත්තරන් පාට ඉරේ එළිය වැටිලා ඇගේ දෙනෙත් දිලිසෙනවා. 
මුහුදු හුළඟ සිල් බිඳින ඇගේ කෙහෙරැල ඉරේ එළියෙන් සෙවනැල්ලක් අඳිනවා...කොපුලේ.....
මම ඇගේ අත තදින් අල්ලගත්තා.
මීට අවුරුදු හතරකට ඉස්සර නෑඹුල් පෙම්වතුන්ව අතින් අල්ලගත්ත...මෙතනදීම...
ඒ සොඳුරු අතිනත ගැනීම එහෙමමයි...
ආදරය එදා වගේමයි......
ඒත් මේ වටපිටාව කොච්චරක්නම් වෙනස් වෙලාද.... 
එදා අප දැකපු සමහර මුහුණු අද නෑ.... එදා මෙතනට ආපු සමහර පෙම්වතුන් අද තනියම එනවා...තවත් සමහරු වෙනත් කෙනෙක් එක්ක...තවත් සමහරු දරුමල්ලෝ ලබලා ඔවුන් එක්ක.....

බයිසිකලේ අයිස්ක්‍රීම් විකුණපු ගුණසිරි අද ප්‍රසිද්ධ වෙළඳ නමක් ගහපු ත්‍රී වීලර් එකක....
එදා සරසවි පෙම්වතුන් උන අපි අද රැකියාවල....

ඒත්....
ඒ ආදරය එහෙමමයි මොනවා වෙනස් උනත්.....
ලෝකය කොච්චර වෙනස් උනත්......අපේ ආදරය අලුත් වෙනවා විතරයි........

"රෑ උනා යමු නේද...හෙට ඔෆිස් යන්නත් එපැයි" ඇගේ හඬ....

" ඔව්... යමු...හෙට උදේම වෙඩින් කාඩ් ටික ගන්න යන්නත් ඕන.... තව සති හයයි නේ......" මගේ හඬ අවදි වෙනවා. 

දහසක් බලාපොරොත්තු පොදි බැඳන් සමුගන්නවා අදට...
අපි.....හෙට හමුවෙන්න අද වාගේම......
ඇය මේ මිහිර හෙටත් ගෙනේවි........

අත් අත නෑරම ඇවිත් වාහනයට නැග්ගා.... 
ඇය කරකවනවා රේඩියෝව..... 
ඇහෙනවා ප්‍රියා සූරියසේනගේ හඬ...ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද...ප්‍රියාගේම සංගීතයෙන්......



හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙ ම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...

කිසි වෙනසක් නැති එක ම දෙයක් ඇත
එය මා හද රැඳි ආදරයයි
මගෙ ජීවිතය ම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි...

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස් වන ලොවෙහි අලුත්වන
ආදරය ම මම හිඳිමි බලා...
..................................
.....................................
.....................................



පසුවදන

මේ ගීතය ලියවුන හැටි ගැන ගොඩක් දෙනෙක් ගීතවල තේරුම් ලියන බ්ලොග් වල ලියල තිබුණ . ඒ කතාවලට අනුව ප්‍රියා මධුවිතකුත් අරන් එනවා ප්‍රේම් ව හම්බවෙන්න. ඒත් ඒ වෙලාවේ හදිසි ගමනක් යන්න සුදානම් වෙලා හිටපු ඔහු මධුවිත දිහා ගිජුකමින් බලන් ඉඳල ගීයේ මුල් කොටස ලියල දීල යනවා.

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙ ම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...

මෙහි "අප දෙදෙනා" යනු ප්‍රේම් සහ ප්‍රියා බවත්, "මිහිර " යනු මීවිත බවත් ලියවෙලා තිබුනා. මම පුද්ගලිකව මේ විග්‍රහයට කැමති උනේ නැහැ. බොහෝ කලාකරුවන් මධුවිතට ලොල් බව ඇත්ත..ඒත් ඉහත විග්‍රහය ඒ නිර්මාණ වලට හානියක් කියලයි මට හිතුනේ. අනෙත් අතට ගීතය ඇහෙන කොට හිතේ ඇතිවුන සිතුවිලි මේ කතාවත් එක්ක රචකයාගේ සංකල්ප රූප එක්ක පරස්පරයි කියල හිතෙනකොට ගීතය සාවධානව රසවිඳින්න බැරුව ගියා. 
නමුත් මේ කියන සිද්ධිය ගැන මොකුත්ම මම නොදන්නා නිසා නිහඬව උන්නා....
ඒත් ....

ප්‍රියා සූරියසේන මහත්තයා මේ කතාව ප්‍රතික්ෂේප කළා එක්තරා රූපවාහිනී වැඩසටහන් දෙකකදී
.....
ට පුදුම සතුටක් දැනුන ඒක අහල...මොකද මහේ හිත මේතරම් වටිනා ගීතයක් අර වගේ කතාවකට ලඝු කරන්න සුදානම්ව නොසිටි නිසා....

ප්‍රියා සූරියසේනයන්ට අනුව ඔහු දවසක් සරල ගී වැඩසටහනකට ගීයක් ලියාගන්න කෙනෙක් හොයනවා. එතැනදී ඔහුගේ පිහිටට එන්නේ ගුවන්විදුලියේම වැඩකරපු එල්මෝ ප්‍රනාන්දු මහත්තයා... ඔහු ප්‍රියාව හඳුන්වල දෙනවා ප්‍රේමකීර්තිට ගුවන් විදුලියේ රිසෙප්ෂන් එකේදී.... එතනදීම ප්‍රේම් කොළ කෑල්ලක ගීතයේ පළමු කොටස ලියල දෙනවා....එහෙම නැතුව ප්‍රේමකීර්තිගේ නිවසේදී බෝතලයකට ලොල්ව නෙමේ.....මේ සිද්ධිය ගැන අහන්න ප්‍රේමකීර්ති අද නැති නිසාත් මේ සිද්ධියේ අනෙත් පාර්ශවකරුවා ප්‍රියා නිසාත් අපිට ඔහු කියන කතාව පිළිගන්න වෙනවා. හිතන්න ඔහුත් නොහිටියානම් අද.....අර කලින් කියපු කතාව සත්‍යයක්
  විදිහට සමාජ ගතවෙනවා...

මම ඒ ගැන ප්‍රියා සූරියසේන කියන කතාව ඔබට අහන්න දෙන්නද
( ස්තුතියි හිරු රූපවාහිනියට සහ ජාතික රූපවාහිනියට ) ඒ වගේම ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් මේ ගීය ගැන විවරණයක යෙදෙනවා අහල බලන්න. 









3 comments:

  1. Yes Priya said the same thing recently in Melbourne. I too agree it is unfair by this great song to undermine its meaning to a bottle of liquor. This is one of my favourites of Priya.

    ReplyDelete
  2. හුග දෙනෙක් ඔය ගැන ඕහොම හිතාගෙන ඉන්නෙ ඇත්ත කැළුම් ඇත්තට වඩා බොරුවට තැනක් තියෙයි
    යූ ටියුබ් වීඩියෝ වලටත් ස්තූතියි
    ජයවේවා

    ReplyDelete